
ප්‍රංශයේ හිටපු තානාපතිවරයකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දරන්නේ වෙනස් මතයකි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය මෙන්ම විධායක ජනාධිපති ධූරය දුර්වල කිරීම ද නොකළ යුතු ක්‍රියා බව ඔහුගේ අදහසයි. ජාතික හා ජාත්‍යන්තර උදාහරණ මගින් ඔහු තම මතවාදය ඉදිරිපත් කරන්නේ මෙසේය.
විධායක ජනාධිපති ක්‍රමය ගැන තේමා දෙකක් යටතේ කතා කළහැකිය. පළමුව අවධානය යොමුකළ යුත්තේ ජාත්‍යන්තර වශයෙන් විධායක ජනාධිපති ක්‍රමයට ඇති අත්දැකීම් කවරේද කියාය. දෙවනුව කතාකළයුත්තේ ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇතිවුණේද ඇයිද යන්න හා එහි සාර්ථක අසාර්ථකභාවය ගැනය. එවැනි ප්‍රවේශයකින් තොරව විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකය කියා එය දුර්වල කළ යුතුය කියා පැවසීම අවිද්‍යාත්මක වනවා පමණක් නොව මුසාවක් ද වේ. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් දැනට කරන විවේචන කෘත්‍රිම හා සාක්ෂි විරහිත විවේචන වේ. එමනිසා විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ලංකා දේශපාලන තලයේ පවතින කතිකාව මා සළකන්නේ ව්‍යවස්ථානුකූල බැඳුම්කර මගෝඩියක් හැටියටය. සිදුවන්නට යන්නේ ලොකු හොරකමකි. එය සිදුකිරීම සඳහා රටේ පුරවැසියන්ට නිදි පෙති දීමේ උත්සාහයක් දැන් තිබේ. විධායක ජනාධිපති ක්‍රමය නරක යැයි කියා එය දුර්වල කිරීම හෝ අහෝසි කිරීම යනු එවැනි එක් නිදි පෙත්තකි.
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරන්නේ ලොව ප්‍රබලම රටවල් පහයි. ඒ අමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශයයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුදුන්මල්කඩ වන ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් පස් දෙනාගෙන් හතර දෙනකුටම තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමයක් නැත්තේ බ්‍රිතාන්‍යට පමණය. එයින් අපට ප්‍රදර්ශනය වන්නේ කුමක්ද? ලොව වඩාත් සාර්ථකම රටවල් පහෙන් හතරක්ම විධායක ජනාධිපති ක්‍රමය නියෝජනය කරන බවයි. එනිසා ක්‍රමයක් හැටියට විධායක ජනාධිපති ක්‍රමය සෙසු ක්‍රමවලට වඩා සාර්ථක යැයි නිගමනයකට එළැඹිය හැකිය. ඒ අනුව ලංකාවේ අප දැන් නැවතත් යෑමට උත්සාහ කරන්නේ යටත්විජිතවාදී මව් රට වන බ්‍රිතාන්‍ය ක්‍රමයටද නොඑසේ ලොව වඩාත් සාර්ථක රාජ්‍ය බහුතරයක් නියෝජනය කරන ක්‍රමයටද යන්න තීරණය කළයුතුය.
නිදසුනකට අමෙරිකා මහාද්වීපයම ගමු. අනෙක් සෑම ප්‍රශ්නයකදීම එකිනෙකාට එරෙහි වන ඇමෙරිකා එක්සත් ජනපදය හා සමාජවාදී කියුබාව යන දෙරටේම තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. අමෙරිකාව ජනාධිපති ක්‍රමය තෝරාගත්තේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් විමුක්ති යුද්ධයක් මඟින් මිදුණාට පසුය. අවශ්‍ය නම් බ්‍රිතාන්‍ය ක්‍රමයම පාවිච්චි කිරීමට අමෙරිකාවටත් ඉඩ තිබුණි. එහෙත් අමෙරිකාව තෝරාගත්තේ වෙනස් මගකි. ඒ තෝරාගැනීමට පසුබිම් වූ කාරණාවලට ආදිකාලීන ග්‍රීක චින්තනය පවා මුහුව තිබුණි. අමෙරිකා එක්සත් ජනපදය ෆෙඩරල් ක්‍රමයකට ගියේ එහි විශාලත්වය නිසාය. කියුබාව පමණක් නොව සමස්ත ලතින් අමෙරිකාව ගත්ත ද අපට පෙනෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයි. ලතින් අමෙරිකාව සමගිසම්පන්න කිරීම සඳහා ස්පාඤ්ඤය යටත්විජිතවාදයට විරුද්ධව මහා සටනක් කළ සිමොන් බොලිවර් පැහැදිලිවම කීවේ නව නිදහස් රටවලට අවශ්‍ය වන්නේ සැබෑ නායකත්වයක් දිය හැකි විධායක ජනාධිපති ක්‍රමයක් මිස රටවල් බෙදා වෙන්කරන ආකාරයේ පාර්ලිමේන්තු ක්‍රමයක් නොවන බවයි.
අපි යුරෝපය දෙස බලමු. විප්ලවවාදී දේශපාලන චින්තනයක් සහිතව තවදුරටත් පවතින යුරෝපා රටවල තවමත් විධායක ජනාධිපති ක්‍රමය පවතී. එක් පැත්තකින් ප්‍රංශයයි. අනෙක් පැත්තෙන් රැසියාවයි. අපි ආසියාව දෙස බලමු. වඩාත් සීඝ්‍ර ආර්ථික දියුණුවක් සහිත සවිශක්තිමත් රටවල්වලින් බහුතරයට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයි. චීනය, වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය ඊට කදිම නිදසුන්ය. පාර්ලිමේන්තු ක්‍රමයකට යළි යා යුතුයැයි කීමෙහි ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී අදහස්ය. හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය චින්තනය අනුව යන ලංකාවේ කොම්ප්‍රදෝරු ප්‍රභූ පැලැන්තිය පමණය. ලෝකය පුරා සාර්ථක ක්‍රමයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අප ඉවතලන්නේ හෝ දුර්වල කරන්නේ මන්ද?
ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති බැලුවහොත් ඕනෑම අයකුට කල්පනාවට එන්නේ ලොව තවත් ත්‍රස්තවාදී බෙදුම්වාදී යුද්ධ කොපමණ තිබේද කියාය. එහෙත් ශ්‍රී ලංකාව ලොව තිබූ ප්‍රබලතම ත්‍රස්තවාදී හමුදාවක් පරාජය කළා පමණක් නොව දකුණේ කැරුලි දෙකක් ද පරාජය කර 70000ක විදේශීය සාමසාධක හමුදාවක් පිටමං කර මෙරට යළි එක්සේසත් කළේය. තවද යුද්ධය පුරා 5%ක ආර්ථික වේගයක් පවත්වාගෙන ගොස් යුද්ධයෙන් පසුව 6-7%ක ආර්ථික වෘද්ධියක් ලබාගත්තේය. එසේම සිවිල් යුද්ධ තිබියදීත් වමේ හෝ දකුණේ ඒකාධිපතිත්වයකට ඉඩ නොදී බහුපාක්ෂික තරගකාරී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රඳාපවත්වාගෙන ගිය නිදහස් අධ්‍යාපනයේ හා නිදහස් සෞඛ්‍ය සේවයේ ශේෂ පවා රැකගනිමින් සුබසාධන ක්‍රමයක අත්තිවාරම් දිගටම රැකගන්නා වූ වාර්තාවක් එය සතුය. එවැනි වාර්තාවක් තුන් වැනි ලෝකයේ රටවල් කීයක තිබෙනවාද? ඇත්තවශයෙන්ම ග්‍රීසිය, තුර්කිය වැනි බටහිර යුරෝපාකරය පවා මිලිටරි ඒකාධිපතිත්ව යටතේ පැවැති වකවානු තිබේ. ස්පාඤ්ඤයේ පෘතුගාලයේ දශක ගණනාවක් ෆැසිස්ට්වාදී ආඥාදායකත්ව පැවැතියේය. එහෙත් ලංකාවේ එවැනි කිසිම දෙයක් තිබුණේ නැත. එසේ බලද්දී ලංකාව සාර්ථක රටක් වන අතර ලංකාවේ දේශපාලන ක්‍රමය ද සාර්ථක ක්‍රමයකි. ඉතින් මේ සාර්ථක රාජ්‍ය ක්‍රමය කටුගා දමන්නේ ඇයි? එහි තර්කානුකූලභාවය කුමක්ද? එහි ඇති එකම තර්කය වන්නේ සාර්ථක රාජ්‍යයක් හැටියට ලංකාව පවත්වාගෙන යෑමට විරැද්ධ පිරිස් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව මේ මෙහෙයුම කරන බවයි.
මෙරට විධායක ජනාධිපති ක්‍රමයේ කිසියම් සීමාන්තික බල කේන්ද්‍රයක් තිබූ බව සැබෑය. වාර ගණන වැඩිකරගැනීම වෙන රටවල ද සිදුවුණේය. නිකරාගුවාවේ ඩැනියල් ඔටේගා ජනාධිපතිවරයා පාලන බලයට පත්වුණේ තුන් වැනි වතාවටය. මහින්ද රාජපක්ෂ විසින් කරනු ලැබූ වරද නම් ජනමත විචාරණයකින් තොරව 18 වැනි සංශෝධනය ක්‍රියාවට නැගීමයි. එහෙත් එය පවා ඔහු කළේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුවය. වුවමනාවට වඩා බලය ඒකරාශි වී තිබෙන්නේ නම් එය ප්‍රතිසංස්කරණයකින් වෙනස් කළ යුතුය. එකී ප්‍රතිසංස්කරණය දැනටම සිද්ධ වී අවසන්ය. එය නම් 19 වැනි සංශෝධනයයි. එයින් ද ඔබ්බට ගොස් තවදුරටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මහා විනාශයකි. මට නම් හැඟෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට හඬ නගන්නන් එය ලංකාවට ගෙනආවේ ඇයිදැයි නොදන්නා බවය.
විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් බව සියල්ලෝ දනිති. එහෙත් ඔවුන් නොදන්නා කාරණය නම් එසේ කිරීමට හේතුකාරණ කවරේද කියාය. එකී හේතු ජේ.ආර්.ජයවර්ධන මහතා කිසිදු දිනෙක සැඟවූයේ නැත. විධායක ජනාධිපති ක්‍රමයක් මෙරටට අවශ්‍ය බව එතුමා ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කළේ 1966 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සමාජ විද්‍යා අංශයේ වාර්ෂික සැසි වාරය අමතමින් විශේෂ ආරාධිතයා ලෙස කළ ප්‍රසිද්ධ දේශනයේදීය. එතුමා පවසා සිටියේ මුදල් ඇමැතිවරයකු හැටියට ඇති තම අත්දැකීම් අනුව ලංකාවේ වෘද්ධි වේගය වැඩි කළ යුතු බවයි. එය සිදු නොකළහොත් විරැකියා ප්‍රශ්නය නිසා සමාජයේ විශාල අර්බුදයක් ඇති වන බවයි. එසේම සීඝ්‍ර වෘද්ධි වේගයක් ඇතිකර තිරසාර සංවර්ධනයක් ඇතිකරන්නට නම් එවකට වෙස්ට් මිනිස්ටර් ක්‍රමය යටතේ ඇති දේශපාලන පද්ධතිය වෙනස් කළ යුතු බවයි. එතැනදී ඔහු ඉදිරිපත් කළේ ඒකපාර්ශ්වික ආඥාදයක ක්‍රමයක් නොවේ. අමෙරිකාවේ හා ප්‍රංශයේ පැවැති විධායක ජනාධිපති ක්‍රමයයි. ඔහු අවධාරණය කළේ ව්‍යවස්ථාදායකයේ අනිවාර්ය ආවේණික හැලහැප්පීම් සහ චලනයන්ට පාත්‍ර නොවූ ස්ථාවර විධායකයක් තිබිය යුතු බවයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට ඇතුල්කරනු ලැබුවේ ඒ සූත්‍රයයි.
ජේ.ආර්.ජයවර්ධන මහතාගේ දේශපාලනය ගැන අපට කවර විවේචන හා විසංවාද තිබුණ ද ඔහු ගැන නිසි තක්සේරුවක් තිබිය යුතුය. මා ජයවර්ධන පාලන සමයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ලැබූ පුද්ගලයකු වුවද දේශපාලන විද්‍යාඥයකු ලෙස ජයවර්ධන මහතාගේ දේශපාලන පසුබිම හොඳින්ම දනිමි. එමෙන්ම ඊට ගරු කරමි. ජේ.ආර් ජයවර්ධන යනු හතළිහේ දශකයේ සිටම දේශපාලනය කළ පුද්ගලයෙකි. මහත්මා ගාන්ධි සහ ජවහර්ලාල් නේරැ මහා බ්‍රිතාන්‍ය පාලනය ඉන්දියාවෙන් පලවා හැරිය යුතු යැයි යෝජනාවක් සම්මත කළ කොංග්‍රස් පක්ෂ රැස්වීමේ සේයාරැවේ අප දකින්නේ එම දෙපළ පසුපස ඇති පැදුරේ ජේ.ආර්.ජයවර්ධන මහතා වාඩි වී සිටින ආකාරයයි. තවද ලංකා සෝවියට් මිත්‍ර සංගමයේ පළමු සභාපති වූයේද ජේ.ආර්.ජයවර්ධන මහතාය. මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයක නායකයකු වුවත් නොබැඳි ව්‍යාපාරයේ සභාපතිත්වය ගත් පසු මිය යනතුරාම ෆිදෙල් කස්ත්‍රෝගේ පෞද්ගලික මිත්‍රයකු වශයෙන් ඔහු කටයුතු කළේය. එම පුද්ගලයා රටට දායාද කළේ තමන්ගේ දැනුම හා අත්දැකීම තුළින් ජනිත වූ දේශපාලන සංකල්පයකි. ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපති ක්‍රමය බිහි කළ විට මහාචාර්ය ඒ.ජේ.විල්සන් කියාසිටියේ ප්‍රංශයේ ඩිගෝල්වාදී ක්‍රමයේ ආසියාතික මුද්‍රණය ලංකාවේ පිහිටු වූ බවයි. එමනිසා මෙය රටේ ජනයාට හිමි වූ දායාදයක් මිස ශාපයක් නොවේ.
වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය දෙස බැලූවිට අපට පෙනෙන්නේ අන්ත අසාර්ථකත්වයකි. ලංකාවේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පැවැති වකවානුව දෙස බැලුවහොත් අපට පෙනීයන්නේ එම කාලයේදී ජාතිවාදී කෝලාහල ඇති වූ බවයි. අගමැතිවරයකු ඝාතනය වූ බවයි. දකුණේ පළමු වැනි කැරැල්ල ඇති වූ බවයි. උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය මෙන්ම කොටි සංවිධානය ආරම්භ වූ බවයි. පසුකාලීනව ලංකාව පෙලූ සියලු දේ ආරම්භ වූයේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියෙනි. එනිසා සාර්ථක විධායක ජනාධිපති ක්‍රමයක සිට අසාර්ථක වෙස්ට්මිනිස්ටර් ක්‍රමයකට මාරු වීම තරම් ජනතාද්‍රෝහීකමක් තවත් නැත. මම ජයවර්ධන පාලන සමයේ එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබියදී එම ආණ්ඩුවේ අධිකාරිවාදයට එරෙහිව කැරැලි ගැසූවන් අතරෙන් කෙනෙකි. එහෙත් විධායක ජනාධිපති ක්‍රමයටවත්. සමානුපාතික ඡන්ද ක්‍රමයටවත් ප්‍රතිපත්තියක් හැටියට විවෘත ආර්ථිකයටවත් එරෙහි වුණේ නැත.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනප්‍රිය සටන් පාඨයක් වුණේ 1977 දී පාර්ලිමේන්තුවෙන් ඉවතට වීසිවුණු දේශපාලන පක්ෂ හා කොටස් නිසාය. ඔවුන්ට නැවත බලයට එන්නට හැකිවුණේ 1994ය. මහජනතාව එම සටන් පාඨය විශ්වාස කළේ නම් ඒ විපක්ෂ කණ්ඩායම්වලට බලයට එන්නට හැකිවන්නේ මීට පෙරය. අනෙක් කරුණ නම් අපේ බොහෝදෙනකු නොදැනුම්වත්ව හෝ දැනුම්වත්ව අමතක කරන ඓතිහාසික කරැණක් තිබේ. එනම් මුල් කාලයේ විධායක ජනාධිපති ක්‍රමය විවේචනය කළ දේශපාලන චරිත පවා පසුකාලීනව එය වැළඳ නොගත්තත් සටන් පාඨයක් හැටියට එය ඉවත දැමූ බවයි. 1986 මැදදී ඉතා වැදගත් සර්වපාක්ෂික සමුළුවක් ලංකාවේ පැවැත්විණි. එය පැවැත්වුණේ විජය කුමාරණතුංග මහතා ජනාධිපති ජයවර්ධන මහතාට ලියූ ලියුමක් අනුවය. එවකට දීප්තිමත් ප්‍රබල ප්‍රගතිශීලී දේශපාලන චරිතයක් වූ විජය කුමාරණතුංගයන් ජයවර්ධන පාලන සමයේදී බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කරනු ලැබිණි. කුප්‍රකට නැක්සලයිට් චෝදනා යනු එයයි. එසේ වුවද රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි කුමාරණතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඊට සහභාගී වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ ද සර්වපාක්ෂික සමුළු දිනයේදී බණ්ඩාරනායක මැතිනිය නිල වශයෙන් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් කළාය. සමුළුව නිරීක්ෂණයට ඉන්දියාවේ සිට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ අමිර්තලිංගම් මහතා පැමිණිය ද ඔහු ද ඊට නිල වශයෙන් සහභාගී වුණේ නැත.
මේ නිසා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වුණේ එක් පසෙකින් ජනාධිපති ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි. අනෙක් පසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බර වාමාංශයයි. එනම් විජය කුමාරණතුංග ප්‍රමුඛ මහජන පක්ෂය, පීටර් කෙනමන් ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂය හා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ප්‍රමුඛ සමසමාජ පක්ෂයයි. ඊට සහභාගීවූවන් අතරින් වාසුදේව නානායක්කාර හා ඩිව් ගුණසේකර මහත්වරු අදටත් ජීවතුන් අතර සිටිති. සඵල සාකච්ඡාවක් වූ එයින් පසු ඊට අනුව කටයුතු කරන්නට ලිඛිත කතාවකින් පොරොන්දු දුන්නේය. එහෙත් එම පොරොන්දුව ඉටු කිරීම පමාවිය. එහි ප්‍රතිපලය වූයේ 1987 ඉන්දීය මැදිහත්වීමයි. සර්වපාක්ෂික සමුළුවේ සාකච්ඡා කෙරුණු ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට ලංකාවේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ වාර්තාව ඝනකම් පොතක් හැටියට රජයේ මුද්‍රණාලයෙන් අච්චු ගසා තිබේ. තවද ඊට සහභාගී වූ වාමාංශික නායකයෝ මහාචාර්ය තිලක් රත්නකාර විසින් රූපවාහිනියේ සාකච්ඡාවට ලක්කරනු ලැබූහ. එහෙත් මේ යෝජනාවලියේ කොතැනකවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන එක වචනයක්වත් නැත. ඔවුන් ඉල්ලා සිටියේ පළාත් සභාවලට යම්කිසි සීමාසහිත බලතල ප්‍රමාණයක් දෙන්නැයි කියාය. කොටින්ම කිවහොත් ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ වගන්තියට විජය කුමාරණතුංග මහතා විරුද්ධ වූයේය. ජේ.ආර්.ජයවර්ධන මහතා ද විරුද්ධ විය. අවසාන විග්‍රහයේදී 1977 දී විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වූ වාමාංශික නායකයෝ 1986 පමණ වනවිට රටේ ප්‍රධාන ප්‍රශ්නය වූ ජාතික ගැටලුව විසඳීම සඳහා කිසි ලෙසකින් පූර්ව කොන්දේසියක් හැටියට එය ඉදිරිපත් නොකළහ.
එසේ බලද්දී අද කරන්නේ තවත් බොරුවකි. එනම් රටේ ජනවාර්ගික සංහිඳියාව සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියන ප්‍රස්තුතයයි. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ අදහස් යැයි කියමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉදිරිපත් කරමින් සිටින අදහස් තනිකරම බොරුය. ඔහු අව්‍යාජවම ප්‍රගතිශීලී අදහස් අනුව යමින් ව්‍යවස්ථාවක් සම්පාදනයට උත්සාහ කරන්නේ නම් කළ යුතු එකම දේ වන්නේ පවතින ව්‍යවස්ථාවටම 1986 සර්වපාක්ෂික සමුළුවේ වාමාංශික පක්ෂ එකඟ වූ ප්‍රතිසංස්කරණ එකතු කිරීමය. කොල්වින් ආර්. ද සිල්වා මහතා ඒකීය රාජ්‍ය යන්න ව්‍යවස්ථාවට එකතු කළේය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ෆෙඩරල් ක්‍රමයක් ගැන කියමින් සිටි පසුබිමෙක ඔහුට අවශ්‍ය නම් ෆෙඩරල් යන්න එකතු කරන්නට තිබුණේය. නැතිනම් සෝල්බරි ක්‍රමයේ මෙන් නිහඬවම සිටින්නට තිබුණේය. එහෙත් එතුමා නිහඬ නොවුණා පමණක් නොව පාර්ලිමේන්තු කතාවකදී දීර්ඝ විස්තරයක් කරමින් අවධාරණය කළේ ඒකීය රාජ්‍යයක අවශ්‍යතාවයයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේම ඉතිහාසය විෂයට එම වසරේදී ඉහළම සාමාර්ථය ලැබූ සිසුවාය. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය හා ඊට විරුද්ධව ඇති වූ කැරැලි පිළිබඳවය. ඔහු මේ ප්‍රශ්න දෙස බැලුවේ ඉතිහාස විශේෂඥයකු හැටියටය. ඔහු අවධාරණය කළේ ලංකාව නමැති කුඩා දිවයින ආක්‍රමණයට විදෙස් බලවේගයන්ට පහසු වූයේ රාජ්‍ය අභ්‍යන්තරික වශයෙන් බිඳී විසිරී පැවැතීම නිසා බවයි. ඔහු ඒ දෙස සැබැවින්ම බැලුවේ මාක්ස්වාදියකු හා ඉතිහාසඥයකු ලෙස මිස සිංහල බෞද්ධ ජාතිකවාදියකු ලෙස නොවේ. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා 1978 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට කොල්වින් ආර්.ද සිල්වා මහතාගේ ඒකීය රාජ්‍ය ක්‍රමය අන්තර්ගත කළේය. ජයවර්ධන ජනාධිපතිවරයාගේ විධායක ජනාධිපති ක්‍රමයත් කොල්වින් ආර් ද සිල්වා මහතාගේ ඒකීය රාජ්‍ය ක්‍රමයත් රඳවාගෙන ව්‍යවස්ථාව නවීකරණය කිරීමෙහි කිසිදු වරදක් නැත. එහෙත් යුද්ධයක් අවසාන වූ පමණින් අලුත් ව්‍යවස්ථාවක් ගෙනඒම විකාරයකි. යුද්ධයේ මූල ඉවත් කිරීමට එසේ කරන්නේය යනු බහුබූත කතාවකි. එසේ නම් ඇමෙරිකාවේ සිවිල් යුද්ධයෙන් මිය සංඛ්‍යාව ලක්ෂ හයකට අධිකය. එසේය කියා ඒබ්‍රහම් ලින්කන් අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්නට උත්සාහ කළේ නැත. සිදුකළේ වහල් ක්‍රමය නැති කිරීම උදෙසා වූ 13 වැනි සංශෝධනයයි. මේ විකාර තර්ක පැමිණ තිබෙන්නේ ත්‍රස්තවාදී බෙදුම්වාදී කොටි සංවිධානය දෙමළ ජනතාවගේ එකම නිල නියෝජිතයාය යන තනි සටන් පාඨය ඉදිරිපත් කර පාර්ලිමේන්තුවට පත් වූ දමිළ ජාතික සන්ධාන පාර්ශ්වයෙනි. අඩුම තරමේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවේවත් එවැන්නක් නැත. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා ජේ.ආර්.ජයවර්ධන නමැති වාම හා දක්ෂිණාංශික ප්‍රවාහ දෙකෙන් පැමිණි යෝධ මොළකරැවන් දෙදෙනෙකුගේ සංකල්ප අත්හැර දමා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයට දත කන්නේ බුද්ධිමය අඟුටුමිට්ටන් ගෝත්‍රයක් නොවේද? එවැන්නකට අප ඉඩදෙන්නේ මන්ද?
♦ බිඟුන් මේනක ගමගේ
සේයාරුව | සමන්ත ප්‍රදීප් විල්තෙර